උසස් පෙළ සිසුන් 115 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවයි ... !!!
උසස් පෙළ විභාගයේ අයදුම්කරුවන් එකසිය පහළොවකගේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවනු ලැබ ඇත.
නව හා පැරැණි යන විෂයය නිර්දේශයන් දෙකටම පෙනී සිටි අයදුම්කරුවෝ මේ අතර වෙති. නව නිර්දේශයට පෙනී සිටි පාසල් සිසුහු සැලකිය යුතු පිරිසක්ද මේ අතර සිටිති.
විධිමත් අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් නොකිරීම, නියම අයදුම්කරුවා වෙනුවට වෙනත් පුද්ගලයකු විභාගයට ඉදිරිපත් කිරීම, කොපි කිරීම, පිළිතුරු පත්‍රවල විවිධ අත්අකුරු පැවතීම යන කරුණු මත මෙම අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල අත්හිටුවූ බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා ඊයේ (28 වැනිදා) පැවසීය.
විභාගයට පෙනී සිටි අයදුම්කරුවකු සැකකටයුතු බවට ශාලාධිපතිවරුන්ගෙන් ලද පැමිණිලි අනුව ද ප්‍රතිඵල අත්හිටුවීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන අතර විභාග මධ්‍යස්ථානයන්හි කලහකාරී ලෙස හැසිරුණු අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල නිකුත් නොකළ බවද විභාග දෙපාර්තමේන්තුවට නොදන්වා පෙනී සිටින මාධ්‍ය වෙනස් කළ සිසුන්ද ප්‍රතිඵල අත්හිටුවනු ලැබුවන් අතර සිටින බවද අනුර එදිරිසිංහ මහතා සඳහන් කළේය.
මෙලෙස ප්‍රතිඵල අත්හිටුවනු ලැබූ අයදුම්කරුවන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සැක සහිත කරුණු නිවැරදි කර ගැනීමෙන් පසුව ප්‍රතිඵල නිකුත් කරන බවද ඒ මහතා පැවසීය.