Saturday, December 17, 2011

Sujani Menaka : සුජානි කවදද අම්ම කෙනෙක් වෙන්නේ ...

සුජානි කවදද අම්ම කෙනෙක් වෙන්නේ ...

  • අපි දෙන්නම කාර්ය බහුලයි ...  
  • ඇතැම් අවස්ථාවල සිත රිදුනා ...
     
සුජානි මේනකා අපට සිටින දක්ෂතම යොවුන් රංගන ශිල්පිනියක්. ටෙලිනාට්‍ය කීපයකත් ‘ගාමනී’ චිත්‍රපටයේත් මේ දිනවල සුජානිගේ රඟපෑම් අපට දැකගත හැකි ය. “සතෙන් සතේ රුපියලෙන් රුපියල’ නම් වෙළෙඳ දැන්වීමෙන් පුංචි තිරයෙන් රංගනයට පිවිසි සුජානි විවිධ චරිත රඟපාමින් තම රංගන ප්‍රතිභාව මනාව පෙන්නුම් කර ඇත.

සුජානි මොනවද මේ දවස්වල කරන්නේ?
මේ දිනවල ‘සුළඟ මත මොහොතක්’, උපුලී’, ‘අලුත් ගෙදර’ කියන ටෙලිනාට්‍යවල රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ නිසා තරමක් වැඩ වැඩියි.


‘උපුලි’ ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
“මම හිතුවටත් වැඩිය හොඳ ප්‍රෙක්ෂක ප්‍රතිචාර උපුලි ටෙලිනාට්‍යයට ලැබෙනවා. කුඩා ළමයින් පවා ඒ චරිතයට හරිම කැමැතියි. ඒ ටෙලිනාට්‍යයේ කතා තේමාව බොහෝ ටෙලිනාට්‍යවලට වඩා වෙනස්. ඒ වෙනසට තමයි බොහෝ දෙනෙක් කැමැති. උපුලි මම මහත් ආශාවෙන් රඟපෑ චරිතයක්.

පසුගිය දිනවල ‘සුජානි’ නමින් ඔබ වෙළෙඳ ප්‍රචාරණ වැඩසටහනකට සහභාගි වුණා නේද?
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ‘සතෙන් සතේ රුපියලෙන් රුපියල’ වෙළෙඳ දැන්වීමට මම සහභාගි වුණේ මීට අවුරුදු 21 කට ඉස්සර; මට වයස අවුරුදු 10 දී. විපුල සමරසේකර අන්කල් තමයි ඒ දැන්වීම නිර්මාණය කළේ. ඔහු මෑතකදී මට කිව්ව එදා ඒ දැන්වීම කරන වෙලාවෙ පිටපතේ තිබුණු ඒ දෙබස් ඒ විදියට කිව්වේ මමම හිතල කියල. පසුගිය අවුරුදු 21 ක කාලයේ මම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ දැන්වීම් ගණනාවකට ම පෙනී සිටියා. පසුගිය දවස්වල ආන්දෝලනයක් ඇති කළ ‘සුජානි’ කියන වෙළෙඳ දැන්වීමටත් මම දායක වුණේ ඉතිරිකිරීමේ බැංකුව වෙනුවෙන්. පසුගිය දිනෙක ජාතික ඉතිරි කිරීමේ බැංකුව මාව එම බැංකුවේ ‘සන්නාම තානාපති’ කියන තනතුරට පත් කළා. එවැනි තනතුරක් ශ්‍රී ලංකාවේ නිළියකට හිමි වුණු පළමු අවස්ථාව මෙය වෙන්න ඕන. ඒක මට ලැබුණු විශාල ගෞරවයක් ලෙසයි මම දකින්නේ.

සුජානි දායකවූ "සුජානි ඔබට කියන කතාව" නම් NSB බැංකුවේ වෙළද දැන්වීම තමයි මේ තියෙන්නේ...


 රංගන ශිල්පිනියක් වීම ගැන ඔබ සතුටට පත් වෙනවාද?
ඔව්. ඇතැම් අවස්ථාවල ඇතැම් හේතු නිසා සිත රිදුනත් රංගන ශිල්පිනියක් වීම ගැන මම ගොඩක් තෘප්තිමත්. මට හැම දේම වගේ ලැබුණේ රංගනය නිසා. විශේෂයෙන් ම ප්‍රේක්ෂකයින්ගේ ආදරය.

ඔබ සිනමාවට දායක වී තිබෙන්නේ අඩුවෙන්නේද?
මම ක්ෂේත්‍රයට ආව මුල් කාලෙ ඒ කියන්නෙ මම පොඩි කාලෙ චිත්‍රපට කීපයකම රඟපාල තියෙනව. මෑතදීත් මම චිත්‍රපට තුන හතරකට විතර දායක වෙලා තියෙනව. ‘සරා’, ‘ගාමනි’ ඒ අතර වෙනවා. මම රංගනයෙන් දායක වුණු ‘තේජා’ චිත්‍රපටය ඉදිරියේදී තිරගත වේවි.

කොහොමද පවුල් ජීවිතය...?
ඉතාම සතුටින් ගෙවෙනව. ලබන ජනවාරි 25 වැනිදාට අපේ විවාහ ජීවිතයට අවුරුදු 4 යි. හොඳ අවබෝධයකින් සහ ආදරයෙන් සහයෝගයෙන් බිමල් එක්ක ජීවත් වෙනව. හැමෝම අහන දෙයක් තමයි කවදද මම මවක් වෙන්නෙ කියන එක. ඒ ප්‍රාර්ථනයත් ළඟදීම ඉටුවේවි.

ඔබ සරල බවට කැමැති ද?
ඇත්තෙන් ම ඔව්. බිමලුයි මමයි දෙන්නම සරල බවට කැමැතියි. අපේ ගෙදර බඩු මුට්ටුත් අඩුයි. අවශ්‍යම දේවල් විතරයි තියෙන්නෙ. ඒකට හේතු කීපයක් ම තියෙනව. එකක් ගෙදර බඩු පුරවගෙන ඉන්න අපි දෙන්නම දක්වන අකමැත්ත. අනෙක ගෙදර බඩු පුරව ගත්තම ඒව පිළිවෙළකට තියාගන්න අපට වෙලාව මදිකම; ඒ අපි දෙන්නම තරමක් කාර්ය බහුල නිසා.

ටෙලිනාට්‍ය නිළියන් පිළිබඳ පසුගිය දිනවල විවිධ ආරංචි පැතිර ගියා. මේ පිළිබඳ ඔබේ මතය කුමක්ද?
ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. රංගනයේ තිබෙන වගකීම සහ බරපතළකම පිළිබඳ නොදන්නා අය රඟපාන්න ආවාම තමයි ඔය වගේ දේවල් සිදුවෙන්නේ. ඔවුන් මේ ක්ෂේත්‍රයට ඇවිත් තියෙන්නෙ රඟපාන්න නෙමෙයි. වෙනත් අරමුණු ඉටු කරගන්න. ඒකට ටෙලිනාට්‍ය නිෂ්පාදකවරු අධ්‍යක්ෂකවරු වග කියන්න ඕන. තවත් දෙයක් මෙතනදි කියන්න ඕන. මෙවැනි සිදුවීමක් වුණාම මාධ්‍ය හැසිරෙන ආකාරයත් වැරදියි. රටේ සිටින ජනප්‍රිය දක්ෂ කලාකරුවකු කලාකාරියක පිළිබඳ වැදගත් ප්‍රවෘත්තියක් පුවත්පත්වල වෙබ් අඩවිවල පළවෙන්නෙ ඉතාම කුඩාවට. ඇතැම්විට පළවෙන්නෙත් නෑ. ඒක ඒ කලාකරුවාට සම්මානයක් ලැබීම හෝ ඔහු මිය යාම වුණත් වෙන්න පුළුවනි. ඒත් වැඩි ජනප්‍රියත්වයක් නැති ටෙලිනාට්‍ය එකකට දෙකකට පමණක් පෙනී සිටි නිළියකගෙන් වැරදි දෙයක් සිදු වුණොත් ඒකට විශාල ප්‍රසිද්ධියක් ලබාදෙනව. මෙය වැරදි සහගත දෙයක් ලෙසයි මම දකින්නේ. මෙවැනි ප්‍රශ්නවලදි මාධ්‍ය වගකීමකින් ක්‍රියා කරන්න ඕන. කෙළින් ම නම පළ කළත් කමක් නෑ. “ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක්” ලෙස සඳහන් කිරීම වැරදියි.

කලාව සහ ජීවිතය පිළිබඳ මොනවගේ බලාපොරොත්තුද ඔබට තියෙන්නෙ?
විවිධ චරිත රඟපාමින් චරිතාංග නිළියක් ලෙස ඉදිරියට ඒමයි කලාවේ මගෙ ලොකුම බලාපොරොත්තුව. ජීවිතයේ විශාල බලාපොරොත්තු නෑ. සරලව සතුටින් කාටවත් කරදරයක් නැතිව ජීවත්වීමයි බලාපොරොත්තුව.

 සුජානි මේනකා පුවත් පතකට දැක්වූ අදහස් ඇසුරිනි...